කොරෝනා බලපෑමෙන් වියැකෙන සංචාරක කර්මාන්තය හා එහි වැදගත්කම

 

                                              දීර්ඝ කාලයක පටන් අපේ රට පිටරැටියන් ගේ අවධානයට ආකර්ෂණයට ලක් වූයේ ය. නාවික වෙළෙඳ මාර්ගයකට යාබදව පිහිටා තිබීමත් , සෞම්‍ය දේශගුණය , සොඳුරු පරිසරය සහ ලක් පොළොවින්  උපදනා දුර්ලභ මහාර්ඝ සම්පත් ද ඊට හේතු විය.  දිවයින වටා පිහිටි මාන්තොට , පුත්තලම , කොළඹ , ගාල්ල , සහ දෙවුන්දර වැනි තොටමුණු ආශ්‍රිතව ගොඩනැගුණු නගර වෙළඳ මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මක විය. මේ පිළිබඳව තොරතුරු රැසක් වෙළෙන්දන්ගෙන් හා දේශාටකයන්ගේ වාර්තාවලින් හෙළිදරව් වේ. වෙළඳාම අරමුණු කරගනිමින් සේම වන්දනා කටයුතු සඳහා හුදෙක් සංචාරයම ද අරමුණු කර ගනිමින් විදේශිකයන්ගේ ආගමන සිදුව ඇත. සීගිරිය , අනුරාධපුරය , පොළොන්නරුව වැනි ලෝක උරුම පමණක් නොව පාසිකුඩා , නිලාවේලි වැනි මනරම් වෙරළ තීර ද ස්වභාවධර්මයේ ආශ්චර්යයන්ගෙන් සමන්විතව පරිපූර්ණ වූ ස්වාභාවික වැසි වනාන්තර සහ ඉතා මිත්‍රශීලී ආගන්තුක සත්කාරයට යොමු වූ ජන සමූහයකින් ද සමන්විත ශ්‍රී ලංකාව දෙස් විදෙස් සංචාරකයින් ආකර්ෂණය කර ගන්නා සංචාරක පාරාදීසයකි. විදේශ විනිමය උපදවන ප්‍රධාන ප්‍රභවයක් වශයෙන් සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු වර්ධනය සඳහා විශාල දායකත්වයක් ලබා දෙයි. ජාත්‍යන්තර වශයෙන්ද ගත්කළ සංචාරක කර්මාන්තය ලෝකයේ විශාලතම සහ වේගයෙන් දියුණු වන කර්මාන්තයක් බවට පිළිගෙන හමාරය. මෙවන් වැදගත්කමක් පවතින සංචාරක කර්මාන්තයක් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට ලබා දෙන්නේ කියා නිම කළ නොහැකි අද්විතීය දායකත්වයකි. එමෙන්ම සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවේ තුන්වන විශාලතම විදේශ විනිමය උත්පාදන මාර්ගයයි. එය දෙවැනි වන්නේ විදේශ රැකියා සහ ඇඟලුම් කර්මාන්තයට පමණි. සංචාරක කර්මාන්තය අතීතයේ සිට පැවතුන ද වර්තමාන ලෝකයේ එය වඩාත් සංකීර්ණ වී ඇත.  නව තාක්ෂණය , ගෝලීයකරණය වැනි සාධක මත එය තවත් ඉදිරියට යන කර්මාන්තයක් බවට පත්ව ඇත. ලෝක ආර්ථිකයේ සීයට අටක් පමණ වන ලොව විශාලතම රැකියා උත්පාදන කර්මාන්තය මෙන්ම ලෝකයේ වේගයෙන්ම සංවර්ධනය වන ව්‍යාපාරයක් ලෙස හා ලොව විවිධ රටවල විදේශ විනිමය වැඩි වශයෙන් උත්පාදනය කරන ලෝකයේ රටවල් 83%ක් හොඳම විදේශ ආදායම් කාණ්ඩවලින් එකක් ලෙස මෙම සංචාරක කර්මාන්තය හඳුනාගෙන තිබේ. සංචාරක කර්මාන්තය පරිසරය තුළ රඳා පවතින අතර පරිසරය ආරක්ෂා කිරීම සංචාරක කර්මාන්තයේ සදාචාරාත්මක වගකීමකි. විශේෂයෙන්ම සංවර්ධිත රටවල සංචාරක කර්මාන්තය ප්‍රධාන වශයෙන්ම ආර්ථික බලපෑමක් ඇති කරනු ලබන සමාජයීය ක්‍රියාවලියකි. ලංකාවේ සංචාරක කර්මාන්තය පිළිබඳවත් එහිදී ලැබුණු ආර්ථික ප්‍රතිලාභ පිළිබඳවත් අවධානය යොමු කිරීමේ දී ලංකාව සංචාරකයින්ගේ නෙත් ඇද බැඳ තබා ගැනීමට සමත් සුන්දර දිවයිනක් බව එදා මෙදා තුර ලියැවුණු වාර්තාවන්ට අනුව පෙනී යයි. පාස්කු ප්‍රහාරයේ ගැටලුකාරී තත්ත්වය හේතුකොටගෙන ලංකාවට පැමිණි සංචාරකයින් ප්‍රමාණය අඩු විය. නමුත් එය ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබියදී කොරෝනා බලපෑමෙන් එය තවත් පහළට වැටුණි. මෙම ගැටලුකාරී අවස්ථාවන් නිර්මාණය වීමට පෙර සංචාරකයින් වැඩි වශයෙන් පැමිණ තම අවශ්‍යතා ඉටුකර ගනිමින් උපරිම තෘප්තියක් හා විනෝදයක් ලබා ගනිමින් දිවයින පුරා සංචාරයේ නිරත වුණි. වර්තමානය වන විට වර්ග කිලෝමීටර් 65610 ක ට වඩා වැඩි භූමි ප්‍රදේශයක් පුරා පැතිරී ඇති විවිධ භූ විෂමතා හා දේශගුණික තත්ත්වයන් , කෙටි කාල සීමාවක් තුළ දී ළඟා විය හැකි ස්වභාවික මෙන්ම මිනිසා විසින් නිර්මාණය කරන ලද සංචාරක කලාප වලින් අනූන භූමි භාගයක් ලෙස ලංකාව හඳුන්වා දීමට හැකි ය. එමෙන්ම ලංකාව යනු සංචාරක ආකර්ෂණය ලබා ගැනීමට සමත් සෑම සම්පතකින්ම අනූන රටක් බව පිළිගැනීමට සිදු වේ.

 සංචාරක කර්මාන්තයේ වැදගත්කම

                               සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට මෙන්ම සමාජීය හා සංස්කෘතික වශයෙන් ද පාරිසරික වශයෙන් ද දැඩි බලපෑම් එල්ල කරන අංශයක් බවට පත් වී තිබේ. දුරාතීතයේ පටන් ශ්‍රී ලංකාවට උරුම වූ භෞතික හා මානව ජන පදනම සංචාරක කර්මාන්තයේ වර්ධනයට ඉවහල්ව ඇත. එමෙන්ම විවිධ වර්ගයේ සංචාරක අවස්ථා සැපයෙන රටක් වශයෙනුත් නිවාඩු අවස්ථාවන් සපයන සංචාරක රටක් වශයෙනුත් ශ්‍රී ලංකාව වැදගත් වේ. ආදායම් උත්පාදනය හා නිෂ්පාදනයේ වෘද්ධිය  , ගෙවුම් ශේෂය කෙරෙහි ඇති කරන යහපත් බලපෑම සහ සේවා නියුක්තිය අවස්ථා බිහි කිරීමේ මාධ්‍යයක් වීම යනාදී සංචාරක ව්‍යාපාරයේ ඇති ශක්‍යතා හේතුවෙන් විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් එය කර්මාන්තයක් වශයෙන් හඳුනාගෙන ඇත. විදේශ විනිමය ජනනය කිරීම මගින් විදේශ සංචිත ශක්තිමත් කිරීමට දායක වීම සංවර්ධනය වෙමින් පවතින රටවල් විෂයෙහි සංචාරක කර්මාන්තයේ සුවිශේෂී කාර්යයක් වේ. සංවර්ධනය වෙමින් පවත්නා බොහෝ රටවල දළ දේශීය නිෂ්පාදිතයෙන් ඉහළ ප්‍රතිශතයකට දායක වන්නේ සංචාරක කර්මාන්තයයි. දේශීය සංචරණය විශේෂයෙන්ම සංවර්ධිත රටවල සේවා නියුක්ති අවස්ථා සම්පාදනයේ දී හා දේශීය වටිනාකම් දාමයේ දී වැදගත් වුව ද විදේශ විනිමය ජනනය කිරීමේ හා දැනුම සහ ප්‍රාග්ධන හුවමාරුවට අදාල අවස්ථා සම්පාදන ධාරිතාව සැලකිල්ලට ගත් විට ආර්ථික සංවර්ධන ශක්‍යතාව රඳා පවතින්නේ ජාත්‍යන්තර සංචරණය මත ය. සංචාරක කර්මාන්තය රටක සමාජ ආර්ථික ක්‍රියාවලියට ධනාත්මක ප්‍රතිඵල ජනිත කරන්නා වූ වැදගත් ක්‍රියාවලියකි. රටක ආර්ථික වර්ධනයේ හා සංවර්ධනයේ දී ජාත්‍යන්තර සංචරණය පමණක් නොව දේශීය සංචරණය ද දායකත්වය සපයයි. කෙසේ වුවද ජාත්‍යන්තර සංචරණය හා සම්බන්ධ වෙළෙඳපොළ එහි පෙර හා පසු සම්බන්ධතා යන ආදිය සැලකිල්ලට ගත් විට දේශීය සංචරණය ට සාපේක්ෂව ආර්ථික වර්ධනයේ හා සංවර්ධනයේ දී ජාත්‍යන්තර සංචරණයට වැඩි වැදගත්කමක් හිමි වන්නේ යැයි සැලකීම සාධාරණය. මේ අනුව සංවර්ධනය වෙමින් පවත්නා රටවල ආර්ථික වෘද්ධි උපායමාර්ග හා අපේක්ෂා වලදී සංචාරක කර්මාන්තයට විශාල වැදගත්කමක් හිමි වේ.


                                                                           (උපුටා ගත් කරුණු ඇතුළත්ය. )


 

No comments:

Post a Comment

ගෙවී ගිය සිව් වසර...

ජීවිතේ බෙදාගත් අඩි හයේ කාමරේ බඩගින්න බෙදාගත් මැට්ට ළග  කැන්ටිමේ ගෙවී ගිය සිව් වසර සබරෙ කදු මායිමේ  ෆොටෝවල හොයනවා මතක  මාවත දිගේ... වල් වැදී ...

නෙත් පැහැරන්නෝ...