රක්ත වර්ණ හිරු කිරණ මේඝ දූතයන් විනිවිද යමින් සමස්ත ධරණිතලය සිසාරා පැතිරී යන්නේ කෙතරම් චමත්කාරජනකව ද? හරිත වර්ණයෙන් වැසී ගත් පෘථිවිතලය නිල් පැහැයෙන් සිත්තම් කලාහූ කවරෙක් ද? සොබාදම් දිනිතියගේ දෙතනේ එරුණු රස කිරි සේ මට දැනෙනුයේ ඒ මහා ජලධාරාවන්ය.මේ මහා පොළෝතලයෙන් අතිවිශාල ඉඩ ප්‍රමාණයක් හිමි කරගෙන සිටින්නේද ඒ වූ ජල සම්පතමය.පෘථිවියට ප්‍රාණයක් හිමි වූයේද එම ප්‍රාණී ශක්තීන් වර්ධනය වෙමින් පරිණාමය සිදූවූවේද එම ජල සම්පතෙහි වූ මහාර්ඝ බලසම්පන්න බව නිසාමය.උපන් මොහොතේ පටන් මිය යන හෝරාව දක්වාම ජීවිතයට ජීවය දෙන්නට ජලය තරම් ඔසුවක් නොමැත්තේය.
මෙම පිරිසිදු ධරණිතලය අතීතයේ දී ඉතා සුපිරිසිදු සුපහන් ග්‍රහලොවකි.ඇළ දොළ, ගංගා පමණක් නොව කුඹුරේ වූ වක්කඩද දිය පිපාසය නිවූ පැන්තාලිම විය.විෂබීජ,මී උණ,අපද්‍රව්‍ය වැනි වත්මන් විෂ වචන එදා තිබුනේම නැත.දාහ නිවා දමන්නට ගත සෝදා ගත්තේ ද, උදෑසන මුව දෝවා පිරිසිදු වූයේ ද, නිවසට වතුර කළය පුරවා ගත්තේ ද, විවිධ දේ සෝදා ගත්තේ ද අසල වූ ඇළදොළ ගංගා හෝ වක්කඩ උපකාරයෙනි.වර්ෂය පුරාම සමසේ පැතිරුනු වර්ෂාපතනය, නියගය ඉම බොහෝ දුරස් කොට තිබුණි.
අතීත කවියන් "කුඹුකේ ළිඳ" ගැන කවි සිත් අවදි කළේ ද ලීලා, චම්පා, රේකාගේ ළිඳ ළග සංගමය ගැන කියවුනේද ඒ මිහිරි පරිසරය තුළය. නමුත් මිනිසාගේ මෙත් සිත මත් වූයේ විද්‍යාවේ පුනරුදය නැගෙන හිරුටත් වඩා ප්‍රචණ්ඩව ලොව ගිලගත් මොහොතේය. වල්මත් වූ මිනිසා හරිත වර්ණය ට ශාප කළේ ය. දුටුතැන විනාශ කිරීමට අණ ලැබුණොත් මෙන් සිතැඟි පරිදි ගහකොළ කපා විනාශ කිරීමටත්, සොබාදම් තුලනය අසමතුලිත කිරීමටත් පටන් ගත් මොහොත මිනිසා තම දෑතින් තම මිනී වළ හාරා ගන්නා මොහොතේ ආරම්භය විය.
නීලවර්ණ ආකාශයෙන් විහිදෙන චණ්ඩ හිරු රැස් මුවා කරන හරිතවර්ණ ඇතිරිල්ල පොළොව ගැබෙන් නික්ම යත්ම අධෝරක්ත හිරු කිරණ ඕසෝන් ස්තරයට පවා හානි කරමින් පහර දෙන්නට සමත් විය. ඉන් නොනැවතී මහ පොළොවේ සාරය මත් වූ ජල සම්පත ද දිනෙන් දින, ටිකෙන් ටික උරාගනිමින් මහා කතරකට ඇද දමන්නට සමත් විය. එපමණක්ද නොව අපට පිරිසුදු ජලය ලබා ගැනීම ද බලවත් ප්‍රශ්නයක් වී ඇත. නොයෙකුත් හේතූන් නිසා ජලය අපිරිසිදු වෙමින් පවතී. මෙය ජලය දූෂණය වීම ලෙසින් හඳුන්වාදිය හැකියි. සාමාන්‍යයෙන් සීයට සීයක්ම පිරිසුදු ජලය අතිශයින් දුර්ලභ දෙයකි. ජලය නිරන්තරවම වාගේ පවතින්නේ නොයෙක් දේ සමඟ මිශ්‍රවීමෙනි. ජලයේ මිශ්‍ර වී තිබෙන දේවල් රාශියකි. ක්ෂුද්‍ර ජීවීන්, ජලජ පැලෑටි,ඊයම්, රසදිය අඩංගු ඇතැම් සංයෝග, ඔක්සිජන් වායුව මින් කිහිපයකි. ඔක්සිජන් වායුව ජලයේ මිශ්‍ර වී ඇති දෑ අතර ඉතා වැදගත් තැනක් ගනියි. ජලය ලීටරයක මිලිග්‍රෑම් අටක් ඔක්සිජන් තිබේ නම් එය පිරිසිදු ජල කොටසක් වශයෙන් සැලකේ. නයිට්‍රජන් වායුව ද ජලයේ පැවැත්මට ඉතා වැදගත් වේ. අපිරිසිදු වන විට ජලයේ අඩංගු මෙම මුලද්‍රව්‍ය ප්‍රමාණය අඩු වී යයි. එවිට එම ජලය ජීවීන්ගේ පැවැත්මට හානිකර වේ.
මේ අනුව ජලය අපිරිසිදු වන අන්දම පිළිබඳව ද දැනුවත් වීම වටී. එක් අතකින් මිනිසාගේ එදිනෙදා කටයුතු මගින් ජලය අපිරිසිදු වේ. ස්නානය, නොයෙකුත් දේ සේදීම, කැලිකසල හා මලපහ එක්කිරීම, ජලය නිසි ආකාරව බැස යාමට ඉඩ නොහැරීම නිසාද ජලය අපිරිසිදු වන අතර එය මිනිස් පරිහරණයට ද අහිතකර වේ. වර්තමානයේ බොහෝ කාර්මික කටයුතු ද මේ සඳහා තදින්ම බලපා තිබේ. කම්හල්වල අපද්‍රව්‍ය ජලාශ වලට ද මුදාහැරීම,කඩදාසි හා රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය, රෙදිපිළි නිෂ්පාදනය ආදියේ විවිධ අතුරු බලපෑම ද ජල දූෂණයේ ප්‍රබල කාරකයක් ලෙස දැක්විය හැකියි. ජලයට එක් කරන අපද්‍රව්‍ය සියල්ලම ජලය දූෂණය කිරීමට හේතුවන්නේ නැත. මින් සමහරක් බැක්ටීරියා මගින් ක්‍රමයෙන් දිරාපත් වන සුළු ඓන්ද්‍රීය ද්‍රව්‍ය වලින් සෑදී තිබේ. එසේම ජලය පිරිසිදු කිරීමට යොදා ගන්නා ක්ලෝරීන් සමග ද ක්‍රියාකිරීමෙන් ගන්ධයක් හා අමිහිරි රසයක් ඇති කරයි. තව ද ජලයේ දියවන සුළු ලෝහමය මලකඩ නිසාත් ජල දූෂණය වේ. ඊයම් නිෂ්පාදනය ජලය දූෂණය වීම කෙරෙහි තදින්ම බලපායි. මේ අනුව පෙනී යන්නේ ලොව ඇති ජලය විවිධ හේතු කාරණා නිසා දූෂණය වීමට මුහුණපා ඇති බවයි. වැඩි වන ජනගහනයට සාපේක්ෂව ජලය වර්ධනය වන්නේ නැත. තිබෙන සීමිත ප්‍රමාණය ද මෙසේ පරිහරණයට නුසුදුසු තත්ත්වයන්ට මුහුණ පා තිබේ. ඊට පිළියම් වහ වහා සෙවිය යුත්තේ එබැවිනි.මෙදියත තුළ ප්‍රමාණයෙන් වැඩි ඉඩකඩකට උරුමකම් කියන්නේ ද ජලයමටය. එසේම ලවණ මිශ්‍ර සාගර ජලය මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු පරිදි සකස් කරලීමට පියවර ගැනීම කාලෝචිතය. සාගර ජලය මදි හැඩුවා නුඹ හින්දා නොව සාගරය කලම්බා පිපාසය නිවන දිය පොදක් සපයා ගන්නට විද්‍යාවේ හිණිපෙතෙහි සිටින මිනිසාට නුපුළුවන් විය නොහැකිය. ප්‍රතිචක්‍රිකරණය සංකල්පයකින් හෝ මුලාවක් නොව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රතිඵලයක් ලැබෙන්නකි. අපද්‍රව්‍ය බැහැර ලන ජලය පවා ප්‍රතිචක්‍රිකරණය කර භාවිතයට ගැනීමේ ක්‍රම මේ වන විටත් අත්හදා බලා සාර්ථක බවින් යුතු බවට නිර්දේශ කර පවතිද්දීත් ඒ ගැන කටයුතු නොකිරීම විහිළුවකි. නිවසේ සිට විශාල කර්මාන්ත ශාලා දක්වා සියලුම ස්ථානවල භාවිතා කළ ජලය නැවත භාවිතයට ගැනීමේ විද්‍යාත්මක ක්‍රම හඳුන්වාදීම ද වටී. තුරු වදුලු වනසා දමා දැවැන්ත ගොඩනැගිලි සාදා කෘතිම වන ගොමු, දියඇලි නිර්මාණය කරන මිනිසා ගලායන ජලයට වසුරුලන්නේ මිනිස් ගතිය නිසාවෙන්ම ය. මෙවැනි වූ මිනිස් ගති අන්ධකාරයෙන් මුදවාලීමට බණපදම නොව කශේරුකා සහිත නීතිරීති පැනවීම ද අදට ගැළපෙන බව කිව යුතුම ය.
මහ පොළොවේ සාරය රකින රක්ෂිත වනාන්තර රැක ගැනීමේ භාරධූර කාර්යය ද වත්මන් පරපුර සතු බව සිහිපත් කළ යුතු යි .විවිධ මුසාවාදයට මුවාවී ජාවාරම් කරන රටක ජලයට ද වන්නේ ඒ ටිකම බව සිහියේ තබාගත යුතු යි. මතුපිට ජලය පමණක් නොව භූගත ජලයට ද ලබා ඇත්තේ එකම ඉරණමය. එසේ හෙයින් ලොව පැවැත්ම අපේක්ෂා කරන්නවුන් වේ නම් ජලයේ වැදගත්කම කතා කිරීම නොව තිබෙන ජලය රැකගැනීමට කටයුතු කිරීමේ කාලය එළඹ ඇති බව සිහි තබා ගත යුතුම ය. දිය පිපාසයට ජලය නොමැතිව ඵලක් නැත. නෑම සේදීම අත්හැරිය නොහැකි ය. අප ගමන් කරන්නේ තිරිසන් ගතිපුරුදුවලට නොවන බැවින් ජලය අප හා බැඳී පවතින්නේ ගසට පොත්ත මෙනි. එනිසා ජල හිඟයට මුහුණ දෙන්නට සිදු වේ. එබැවින් ජලයෙහි අගය දන්නෝ ජලය රකින්නෝම ය. එවැන්නෝ ජලයෙන් රැකෙන්නෝම ය.
No comments:
Post a Comment