අවිධිමත් භූමි පරිහරණය හා ජල සම්පත...

 

        අවිධිමත් භූමි පරිහරණය හේතුවෙන්

                 මතුවට නැති අපට අහිමි ජල සම්පත...


                   



    පටුන                                                                                                                                                

1. අධ්‍යයනයේ අරමුණු

2.හැදින්වීම

3. ගැටලුවේ ස්වභාවය

4. කර්මාන්ත ශාලාවේ පිහිටීම දැක්වෙන සිතියම සහ ගැටලුව හා සම්බන්ධ   ඡායාරූප බිදක්

5. ගැටලුවේ බලපෑම අධ්‍යනය

6. ගැටලුව ආශ්‍රිත බලපෑම

7. ගැටලුව ආශ්‍රිතව තෝරාගත් පුද්ගලයින්ගේ අදහස් අධ්‍යයනය

8. සාරාංශ සටහන

9. ගැටලුව අවම කිරීමට යෝජනා

10. මුලාශ්‍ර 



අධ්‍යයනයේ  අරමුණු

 1.තෝරාගත් ප්‍රධාන ගැටලුව හමුවේ සමස්ත ප්‍රාදේශීය ජනයා මුහුණ දෙන ගැටලු අධ්‍යයනය.    

2. භූමි පරිහරණය තුළින් ඇතිව තිබෙන්නා වූ වර්තමාන බලපෑම සහ ඇතිවිය හැකි අනාගත බලපෑම පිළිබඳව කරුණු සොයා බැලීම කිරීම.

3. අවිධිමත් භූමි පරිහරණය පිළිබඳව ග්‍රාමීය ජනතාවගේ අදහස් විමසා බැලීම                                                                                                                                                     

4.තෝරාගත් ගැටලුව හේතුවෙන් සිදුවී ඇති වෙනස්කම් (පාරිසරික වෙනස්කම් ද ඇතුළත්ව) අධ්‍යයනය කිරීම.

5.ගැටලුව තුළින් උද්ගතවී ඇති අහිතකර බලපෑම තුරන් කිරීමට හෝ හැකිතාක් අවම කිරීමට යෝජනා ලබාදීම. 


හැදින්වීම               

                                    භූමිය වනාහි කෘෂිකර්මාන්තය, ආහාර,ඉඳුම්හිටුම් ඇතුළු අපගේ එදිනෙදා ජීවිතයත් සමඟ අවියෝජනීය ලෙස සමීපව බැඳුණු පද්ධතියකි. මානව අවශ්‍යතා සපුරා ගැනීමට යාමේදී නිසි භූමි පරිහරණ ක්‍රමවේද අනුගමනය නොකිරීම හේතුවෙන් භූමියේ සාරවත්භාවය හා පෝෂණය දිනෙන් දින අපගේ ඇස් පනාපිටම වියැකී යමින් පවතී. පරිසරය දෙස බැලුවද ජන ජීවිතයන් දෙස බැලුවද අපට ඒවායේ වෙනස්කම් රාශියක් වර්තමානයේ දැකගන්නට හැකිය. මෙම ගැටළු සඳහා වගකිවයුතු ප්‍රධාන බලධාරියා මිනිසා වුව ද මහපොළොව සහ සත්ව ප්‍රජාව ද ඇතුළුව සමස්ත පරිසර ප්‍රජාවම වර්තමානය වනවිට භූමි පරිහරණයේ අවිධිමත් ප්‍රතිඵලයන්ට මුහුණ දෙයි. වර්තමානයේ දී අවිධිමත් භූමි පරිහරණයේ අයහපත් ප්‍රතිඵල සෘජුවම අප කරා නොපැමිණියද වර්තමානයේ දී මෙන්ම අනාගතයේදීත් වක්‍රාකාරයෙන් හෝ සෘජුවම ඒ සඳහා මුහුණ දීමට අපට සිදු වේ. මෙම ගැටලුව වර්තමානයේ දී ඔබ අප සියලු දෙනා ඉදිරියේ පවතින්නා වූ අභියෝගයකි. එය ජය ගැනීම එක් අයෙකුගේ පමණක් කාර්යභාරයක් නොවන්නේය.

                                 භූමි හායනය වැලැක්වීමටත් , හායනයට ලක්ව ඇති භූමි නැවත පෙර තිබු තත්වයට පත්කිරීමට කටයුතු කිරීමත් අතිශය වැදගත් අවශ්‍යතාවයක් ලෙස දැකිය යුතුමය. භූමිය අනාගතයේදී ප්‍රයෝජනයක් ගත හැකි අන්දමට අවශ්‍යතා හා පරිහරණ රටා කළමනාකරණය කරගත යුතුය. අවිධිමත් භූමි පරිහරණය අයහපත් බලපෑම පිළිබඳව අත්දැකීම් කැටි කොටගත් දැනුම් සම්භාරයක් අපේ පැරැන්නන් අතර රැදී ඇති බව නොකියා බැරිය. අවිධිමත් ලෙස ග්‍රාමීය භූමිය පරිහරණය කරමින් ප්‍රයෝජන සහ වාසි ලබා ගැනීමේ අරමුණින් ඉදිකර ඇති කර්මාන්තශාලාවක අයහපත් භූමි පරිහරණයේ බලපෑම පිළිබඳව එක් එක් කරුණු ඔස්සේ අධ්‍යයනය කරමින් ග්‍රාමීය ජනතාවගේ අදහස් ද අන්තර්ගත කොට ගනිමින් නිර්මාණය කරන ලද මෙම වාර්තාව වර්තමාන භූමි පරිහරණයේ අයහපත් පැතිකඩ පිළිබඳව සොයා බැලීමට දරන ලද තවත් ප්‍රයත්නයකි.


 ගැටලුවේ ස්වභාවය

                                  එඩිම්බරෝ නිෂ්පාදන කර්මාන්ත ශාලාව පිහිටා ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හල්බරාව නම් ග්‍රාමීය ප්‍රදේශය තුළයි. මෙහි ප්‍රධාන වශයෙන්ම  ජෑම්,සෝස් සහ ජල බෝතල් නිෂ්පාදනය කරනු ලබයි. මෙම කර්මාන්ත ශාලාව හේතුවෙන් එම ප්‍රදේශයේ ප්‍රධාන වශයෙන් ගැටලු උද්ගතවී තිබේ. මෙහිදී ප්‍රධාන වශයෙන් මා විසින් තෝරා ගන්නා ලද්දේ ජලය බෝතල් කිරිම සම්බන්ධව පැන නැගී ඇති ගැටලුවයි.   

                            මෙම කර්මාන්තශාලාවට පිටුපසින් ඇත්තේ හරිතවත් වෙල්යායක් සහ ඇළ මාර්ගයකි. ජලය බෝතල් කිරීම සඳහා අවශ්‍ය ජල ධාරිතාව ලබාගැනීමට මෙම කර්මාන්ත ශාලාව ඇතුළත භූමියේ වගා ළිං මෙන් විශාල ළිඳක් නිර්මාණය කර ඇත. ජල උල්පත් මගින් එම ළිඳ සඳහා අවශ්‍ය ජලය සපයා ගනු ලබයි. ජලය බෝතල් කිරීම සඳහා අවශ්‍ය වන්නාවූ සැලකිය යුතු ජල ධාරිතාවයක් මෙම ළිඳ මඟින් දෛනිකව ලබා ගනී. එම නිෂ්පාදනය යටතේ ප්‍රධාන ගැටලුවක් නිර්මාණය වී තිබේ. කර්මාන්තශාලාවට පිටුපසින් හරිතවත් වෙල්යායේ පිහිටා ඇති මිනිසුන් බොහෝ දෙනා ස්නානය වෙනත් වගා කටයුතු සඳහා ජලය ලබා ගැනීමට භාවිතා කරන්නා වූ මෙම ජල බෝතල් කරන ආරම්භ කිරීමට පෙර ජලයෙන් පිරී ඉතිරී ගිය ළිංවල ජලය මේ වන විට ඉතා අඩු ජල මට්ටමකින් පවතී. කර්මාන්තශාලාව පිටුපස ජලයෙන් පිරී පැවතුණු ඇළ මාර්ගය සතු ජලය සහ භූගත ජලය මෙම විශාල වගා ළිඳ වෙත ඇදී එමින් පවතී. මේ අනුව ජල මූලාශ්‍ර සිඳී යාම මෙහිදී දැකගත හැකි වූ ප්‍රධානතම ගැටළුවයි. මෙම අධ්‍යනය සිදු කර ඇත්තේ එම ප්‍රධාන ගැටලුව ඔස්සේය.


                                    

                           රූපය 01-02  : වෙල් යායට යාබදව කර්මාන්ත ශාලාවේ පිහිටීම



කර්මාන්ත ශාලාවේ පිහිටීම දැක්වෙන සිතියම සහ ගැටලුව හා සම්බන්ධ ඡායාරූප බිදක්

                            




ගැටලුවේ බලපෑම අධ්‍යනය

                             

                              සමහර ගැටළු කොපමණ නම් බරපතළද කොපමණ නම් ව්‍යාප්තව ඇත් ද කිවහොත් එම ගැටලු සම්බන්ධයෙන් අපට කළ හැකි දෙයක් නැතැයි යන හැඟීමක් අප තුළ ඇති කළ හැකිය. තවද යම් ගැටලුවක් සෘජුවම තමන්ට බල නොපානතාක් එම ගැටලුව විසඳීම තබා ගැටලුවවත් තමන්ට අදාල නැතැයි කෙනෙකුට සිතිය හැකිය. මෙය ද තවත් එවැනිම ආකාරයේ භූමි පරිහරණය සම්බන්ධ ගැටලුවකි. භූගත ජල සම්පත මිනිසාගේ පැවැත්ම සඳහා උපයෝගී කරගත හැකි මූලාශ්‍රයක් වුවද කර්මාන්තශාලා, රසායනික ද්‍රව්‍යයන් ආදී හේතු නිසාවෙන් එම ජල මූලාශ්‍ර ද විනාශ වෙමින් පවතී.

                        හල්බරාව ප්‍රදේශයේ ජනතාවට වගා කිරීමට අවශ්‍ය ජලය දූෂණය වී නොතිබුණත් මේ වන විටත් එම ප්‍රදේශය ආශ්‍රිතව සැලකිය යුතු ජල හිඟතාවයක් පවතී. භූගත ජල උල්පත් තුළ ඇති ජලය මෙම කර්මාන්ත ශාලාව තුළ නිර්මාණය කර ඇති විශාල ගැඹුරු ළිඳ වෙත ඇද ගනිමින් පවතී. වෙල්යාය ඇතුළත පිහිටා තිබුණු ග්‍රාමීය ජනතාවගේ ප්‍රයෝජනය සඳහා යොදාගත් ළිං මෙම ජල බෝතල්කරණය ආරම්භ කිරීමට පෙර ජලය පිරී ඉතිරී ගියේය. අතීතයේ එම ප්‍රදේශයේ සොබාදහම ආශ්‍රයෙන් දැකගත හැකි වූ සුන්දරම දර්ශනය ද එයයි. නමුත් එවැනි සොඳුරු දසුනක් ජලබෝතල්කරණය නම් ක්‍රියාවලියෙන් විනාශ වන්නට ගතවූයේ ඉතා කෙටි කාල සීමාවකි. ඒ හේතුවෙන් ගොවි ජනතාවට වී වගා කිරීම සඳහා අවශ්‍ය ජල ප්‍රමාණය පවා ලබාගත නොහැකි තත්වයක් වර්තමානයේ උදා වී ඇත. මේ හේතුවෙන් කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය කරගත් එම ගැමියන්ගේ අස්වනු සැලකිය යුතු මට්ටමකින් කන්නයෙන් කන්නයට පහළ බසිමින් පවතී. ජීවයේ පැවැත්ම උදෙසා ජලයේ ඇති වැදගත්කම ඉතා ඉහළය. බොහෝ දෙනාගේ මතය වන්නේ ජලය ජීවය සඳහා සීමාකාරී සාධකයක් වන්නේ හුදෙක් සතුනට සහ ශාකවලට පමණක් බවයි. නමුත් මෙම ගැටලුවේ බලපෑම අධ්‍යයනය කිරීමෙන් පැහැදිලි වන්නේ ජලය මිනිසා නම් සත්වයාට ද සීමාකාරී සාධකයක් වන බවයි. මෙම ගැටලුව වර්තමාන සහ අනාගත බලපෑම විමර්ශනය කිරීමේ දී ඉහත කරුණ තව තවත් තහවුරු කරගත හැකිය.                           


 ගැටලුව ආශ්‍රිත බලපෑම

 ප්‍රධාන ගැටලුව ආශ්‍රිතව ඇති විය හැකි අහිතකර බලපෑම කොටස් 3ක් යටතේ වර්ගීකරණය කර තිබේ.

                       1.ගැටලුව ආරම්භයේ දී පැවති අහිතකර බලපෑම

                       2. වර්තමානයේ දී පවතින අහිතකර බලපෑම

                       3. අනාගතයේ දී ඇති විය හැකි අහිතකර බලපෑම

1.ගැටලුව ආරම්භයේ දී පැවති අහිතකර බලපෑම

·      1.ළිං හැරීමේදී ගල් ඉවත් කිරීමට මුලදී යෙදූ බෝර ගල් හේතුවෙන් ඒ ආශ්‍රිත මිනිසුන්ගේ නිවාස ඉරි තැලීමට ලක්වීම.

·      2.විශාල  ළිං නිර්මාණයට යොදා ගන්නා නොයෙක් රසායනික ද්‍රව්‍ය වාතයට මුසු වීම හේතුවෙන් ඒ ආශ්‍රිතව ජීවත් වන මිනිසුන්ගේ සෞඛ්‍ය තත්වයට බලපෑම් ඇතිවීම. ( ස්වසන අපහසුතා )

·      3.කර්මාන්ත ශාලාවෙන් පිටවන අධික ශබ්දය නිසා කුඩා දරුවාගේ සිට වැඩිහිටියන් දක්වා කම්පන තත්ත්ව ඇතිවීම.

·      4.රසායනික භූමි හායනය සහ ජීව විද්‍යාත්මකව භූමි හායනය සිදු වීම.

 2.වර්තමානයේ දී පවතින අහිතකර බලපෑම

·      1.ගොවීන්ට වී ගොවිතැන සඳහා අවශ්‍ය ජලය අවශ්‍ය ප්‍රමාණයෙන් ලබාගත නොහැකිවීම.

·      2.ග්‍රාමීය ජනතාවගේ දෛනික පරිභෝජනය සඳහා යොදා ගත් වෙල්යාය තුළ පිහිටි ළිංවල ජලය සිඳී යන මට්ටමට ළඟා වී තිබීම.

·      3.ගොවිමහතුන් ජලය සපයා ගත් ප්‍රධාන ජල මූලාශ්‍රය වූ වෙල් යායට යාබද විශාල ඇළ මාර්ගය සිඳී යමින් පැවතීම.

·      4.වී වගාව සඳහා අත්‍යවශ්‍ය ප්‍රධාන සාධකයක් වූ ජලය අවශ්‍ය මට්ටමෙන් නොලැබීම හේතුවෙන් අස්වැන්න සාරවත්භාවය පහළ බැසීම.

·      5.වෙල්යාය ආසන්නයේ ගෘහාශ්‍රිතව ජීවත්වන ජනයාගේ පානීය  ජල අවශ්‍යතාවය ගැටලුවක් බවට පරිවර්තනය වෙමින් පවතී. 

·      6.කුඹුරු ආශ්‍රිතව පිල්ලෑවන්හි ගොවිතැන් කටයුතුවල නියැලුණු පුද්ගලයන් ඒ වගා කටයුතු සඳහා ජලය ලබා ගත්තේ ප්‍රධාන ඇළ මාර්ගයෙනි. නමුත් එම ඇළ සිදී යාම හේතුවෙන් ජලය ලබා ගැනීමේදී විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුවීම .

·     7. වෙල්යායේ සහ ඇළ මාර්ගයේ ජලය හිගතාවය හේතුවෙන් වෙල්යාය ආශ්‍රිත වනයේ ජීවත්වූ වන සතුන් ජලය සොයා මිනිසුන්ගේ වාසස්ථාන කරා පැමිණීම.

               උදාහරණ:- විසකුරු සර්පයින්

3.අනාගතයේ දී ඇති විය හැකි අහිතකර බලපෑම

·      1.ළිං කැපීමේදී රසායනික ද්‍රව්‍ය යොදා කළුගල් ආදිය ඉවත් කර ඇත. පසුව ජලය ලබාගෙන ඇත. මෙම ජලය හා යොදාගත් රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වී ඇත. ඒ හේතුවෙන් මෙම බෝතල් කළ පානීය ජලය පානය කිරීමෙන් මිනිසුන්ට පිළිකා වැනි අවදානම් සහගත රෝග අනාගතයේ දී ඇතිවීමේ ඉහළ ප්‍රතිශතයක් පැවතීම.

·      2.දිගින් දිගටම ජල බෝතල්කරණය සදහා විශාල ළිං තුළින් ජලය ලබා ගැනීමෙන් වෙල්යාය තුළ ජල තෙතමනය ඉවත් වී වෙල් ඉරිතැලීමට ලක්වීම.

·      3.ඉදිරියේ දී වෙල් යායේ වී වගා කටයුතු සියල්ල අතහැර දැමීමට සිදුවීම.           ඒ හේතුවෙන් කටයුතු සඳහා අයෝග්‍ය පුරන් කුඹුරු යායක් නිර්මාණය වීම.

·      4.දෛනික ජල පරිභෝජනයට අවශ්‍ය ජල ප්‍රමාණය පවා ලබාගත නොහැකි තත්ත්වයට පත්වීම සහ කර්මාන්ත ශාලාව ආශ්‍රිත මිනිසුන්ට ජලය මුදලට ලබාගැනීමට සිදුවන වාතාවරණයක් ඇතිවීම.

·      5.ප්‍රධාන ඇළ මාර්ගය ජලය නොමැතිව සිඳී යාම සහ ඒ තුළ ජීවත් වූ ජලජ ජීවීන් විනාශයට පත්වීම.

·     6.පිල්ලෑ ආශ්‍රිත එළවළු කොරටු තුළ වගා කටයුතු අතහැර දැමීමට සිදුවීම.

·      7.වෙල්යාය ඇතුළත පිහිටි දිය නෑම සඳහා භාවිතා කළ ළිං සිඳී යාමෙන් මිනිසාට මුදල් ගෙවා ජලනළ පද්ධති ලබා ගැනීමට සිදුවීම.

 

                          මෙම ගැටලුව අධ්‍යයනයෙන් පැහැදිලි වන්නේ වර්තමානයේ පවතින අහිතකර බලපෑම හා සමානව හෝ ඊටත් වැඩි ප්‍රමාණයෙන් අහිතකර බලපෑමක් අනාගතයේ දී නිර්මාණය විය හැකි බවයි.


ගැටලුව ආශ්‍රිතව තෝරාගත් පුද්ගලයින්ගේ අදහස් අධ්‍යයනය

                        මෙම තෝරාගත් ගැටලුව ආශ්‍රිත බලපෑම පිළිබඳව හල්බරාව ප්‍රදේශයේ තෝරා ගත් පුද්ගලයින් කිහිපදෙනෙකුගෙන් අදහස් විමසීමට ලක් කරන ලදී. එම පුද්ගලයින් සහ ඔවුන්ගේ අදහස් පහත දැක්වේ.


1.කේ.සිරිසේන - අවුරුදු  86



                            මොහු වැඩි වශයෙන් අවධානය යොමු කරන ලද්දේ තම   කුඹුරු කොටසේ වී වගා කටයුතු කිරීම සඳහා ජලය සැලකිය යුතු මට්ටමකින් ලබාගත නොහැකි   බවයි. එමෙන්ම එහිදී ඔහු විසින් වෙල් ඉරි තැලීමට ලක්වන බව ද ප්‍රකාශ කරන ලදී. කෘෂිකර්මාන්තය තම ප්‍රධාන ජීවනෝපාය කරගත් මොවුන් අතීතයේ සිටම වී ගොවිතැනේ නියැලී ඇත. මෙම ගැටළුවත් සමඟ ජලය ලබා ගැනීමේ අපහසුතාවයට  පත්ව ඇති බව මොහු විසින් පැහැදිලි කරන ලදී. අස්වැන්න අඩුවීම ද මුහුණ දෙන තවත් එක් ගැටළුවක් ලෙස දක්වන ලදී. එමෙන්ම පහත දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් සිරිසේන ගොවි මහතා විසින් කරන ලද ප්‍රකාශයකි.

        

                                           “ ඉස්සර මේ යායම අස්වද්දන්න ඕන හැටියේ වතුර තිබ්බා. කිසිම අඩුවක් පාඩුවක් තිබ්බේ නෑ. මේ වතුර බෝතල් කර්මාන්තේ පටන් ගත්තායින් පස්සේ තමයි මේ වින්නැහිය. හැමදේම සල්ලිවලට යටයි ළමයෝ. උන්ට ඕන හැටියෙ ලොකු ලොකු ළිං කපලා වතුර ටික අද්දෝ ගන්නවා. මේ කුඹුරු මාරු කරන්න වෙලා දැන්. අපිට තමා හැමදේටම මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. “

-සිරිසේන ගොවිමහතා-


2.එස්.පත්මසිරි - අවුරුදු 50 


                           මොහු වෙල්යායේ ඇතුළත ඇති පිල්ලෑවන්හි එලවලු වගාවේ යෙදෙන පුද්ගලයෙකි. මොහු මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව වී ඇත්තේ ඇළ මාර්ගයෙන් එළවළු කොරටුවට අවශ්‍ය ජලය ලබා ගැනීමට නොහැකිව ඒ සඳහා විවිධ ක්‍රම භාවිතා කරමින් ජලය නිවසේ සිට ගෙන ඒමට සිදුවීමයි. මෙම ගැටළුවට මුහුණ දීමට පෙර තම එළවළු වගා කටයුතු සඳහා ජලය ලබාගෙන ඇත්තේ ප්‍රධාන ඇළ මාර්ගයෙනි. නමුත් ජලය සිඳී යමින් පැවතීම හේතුවෙන් මෙම තත්වයට මුහුණ දීමට ඔහුට සිදු වූ බව ඔහු පැවසීය. එමෙන්ම සිටවන ලද එළවළු පැළ රාශියක් නිසි පරිදි ජලය නොලැබී මැලවී ගොස් තිබෙන බවද ඔහු පැවසීය. එමෙන්ම පෙරට වඩා අස්වැන්නේ හිඟතාවයක් පවතින බව ද පෙන්වා දෙන ලදී.

 

3. එල්.ඒ.රත්නායක - අවුරුදු 60


                                    ඇළ මාර්ගයේ ජලය සිඳී යමින් ඒ තුල ජීවත් වූ කුඩා මසුන් තරමක් විශාල මසුන් සහ වෙනත් ජීවීන් ජලය නොමැතිව විනාශ වී ගොස් ඇති බව ඔහු විසින් ප්‍රකාශ කරන ලදී. ඒ අනුව මොහු විසින් පැහැදිලි කරන ලද්දේ ජීවවිද්‍යාත්මක භූමි හානිය පිළිබඳවයි. එනම් මතුපිට පෙනෙන ප්‍රදේශය පමණක් නොව පස තුළ පිහිටි පරිසරය, භූමිය හා සම්බන්ධ වායු පරිසරයද යන පද්ධති සියල්ලම භූමියට අයත් වේ. ඒවා තුළ විවිධ වෘක්ෂලතා සහ විවිධ ජීවීන් ජීවත් වේ. මෙවැනි ශාක සහ සත්ත්ව විශේෂ යම් භූගෝලීය ප්‍රදේශයක සුවිශේෂී වන අතර ඔවුන්ගේ පැවැත්ම භූමියේ තිරසාරත්වයට ඉතා වැදගත්ය. රසායනික ද්‍රව්‍ය එකතු වීමෙන් මෙවැනි සත්ව හා ශාක විශේෂ විනාශ වී යාමට ඉඩ ඇත. එවිට ජීව විද්‍යාත්මක ලෙස භූමිය හායනයට ලක් වේ.



                             රූපය 05  : ප්‍රධාන ඇළ සහ ජල මූලාශ්‍ර සිදී යාම.


  
 

ගැටලුව අවම කිරීමට යෝජනා

 

1.ජල බෝතල්කරණය නිසාවෙන් ග්‍රාමීය ජනතාව මුහුණ දී ඇති අහිතකර බලපෑම පිළිබඳව ආයතන ප්‍රධානියා දැනුවත් කිරීම සහ ඔහු සමග සාකච්ඡාකොට වර්තමානයේ ජනතාව මුහුණදෙන හා අනාගතයේ නිර්මාණය හැකි අහිතකර තත්වය පැහැදිලි කර දීම.

 

2.අස්වැන්න ප්‍රමාණයෙන් වැඩි කරගැනීම සඳහා නිර්දේශිත කෘෂි යෙදවුම්    භාවිතා කිරීමට ගොවි ජනතාවට අදහස් ලබා දීම.

 

3.අනාගතයේ දී මෙම ගැටළුව හේතුවෙන් නිර්මාණය විය හැකි අයහපත් තත්වය පිළිබඳව ග්‍රාමීය ජනතාව දැනුවත් කිරීම.

 

4.ගොවි ජනතාව ඒකරාශීකොට අවශ්‍ය ලිපි ලේඛන සකස් කර මෙම බලපෑම පිළිබඳව වගකිවයුතු ආයතන දැනුවත් කිරීම.

 

5.ආයතන ප්‍රධානියා මේ සඳහා අවශ්‍ය පිළියම්  නොගතහොත් නීතිමය පියවර    ගැනීම.

 

මුලාශ්‍ර

 

1.     http://luppd.gov.lk

(ඉඩම් පරිහරණ සැලසුම් මාර්ගෝපදේශ නව සංස්කරණය 2020)

2.     Google map

 


No comments:

Post a Comment

ගෙවී ගිය සිව් වසර...

ජීවිතේ බෙදාගත් අඩි හයේ කාමරේ බඩගින්න බෙදාගත් මැට්ට ළග  කැන්ටිමේ ගෙවී ගිය සිව් වසර සබරෙ කදු මායිමේ  ෆොටෝවල හොයනවා මතක  මාවත දිගේ... වල් වැදී ...

නෙත් පැහැරන්නෝ...