රටක සංවර්ධනය රඳා පවතින ප්‍රධානතම පාදම වන්නේ ආර්ථිකයයි. සමස්තයක් ලෙස රටක ආර්ථිකයට සලසන ප්‍රතිලාභ ලෙස බැලීමේදී අනෙකුත් ආර්ථික කටයුතුවලට සාපේක්ෂව සංචාරක කර්මාන්තය තුලින් ලැබෙන ප්‍රතිලාභ වෙනස් බව අවබෝධ කරගත යුතුය. ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් මෙම ව්‍යාපාරයට එළැඹි ඇත්තේ රටකට ලැබෙන පස් වැදෑරුම් වූ ආර්ථික ප්‍රතිලාභ සැලකිල්ලට ගෙන බව හඳුනාගත හැකි ය.
1. විදේශ විනිමය ඉපයීම
2. සේවානියුක්තිය
3. ප්‍රාදේශීය සංවර්ධනය
4. රජයේ ආදායම වැඩි වීම
5.ආදායම් ඉපයීම හෙවත් ආර්ථික උත්තේජනය
1. විදේශ විනිමය ඉපයීම
පස්වැදෑරුම් ආර්ථික ප්‍රතිලාභ අතරින් ඉතා වැදගත්
ප්‍රතිලාභයක් ලෙස විදේශ විනිමය ඉපයීම සැලකිය හැකි ය. ශ්‍රී ලංකාවේ පවතින අයවැය
පරතරය පියවීම සඳහා අවශ්‍ය වන විදේශ විනිමය ලබා ගැනීම සඳහා විදේශ සංචාරකයින්ගේ
පැමිණීම අත්‍යවශ්‍ය සාධකයකි. විදේශ විනිමය ඉපයීම අතරින් සංචාරක කර්මාන්තයට අනෙකුත්
කර්මාන්ත අතරින් වැදගත් තැනක් ලැබෙන අතර එය ප්‍රධානතම ආදායම් මාර්ගයකි. වර්තමානයේ
දී රට තුළ ඇති පවත්නා වූ ගෝලීය වසංගත බලපෑමෙන් විදේශ විනිමය ඉපයීමේ කාර්යයට විශාල
බලපෑමක් නිර්මාණය වී තිබේ. රට වසා දමා පැවතුණු කාල වකවානුවේ දී විදේශ විනිමය
උත්පාදනය වීමත් සිදු වූයේ නැත. එය ඉතා අහිතකර බලපෑමක් ලෙසින් අප රටේ ආර්ථිකයට
බලපෑම් එල්ල කර තිබේ. ඒ අනුව ලැබිය යුතු විදේශ විනිමය ප්‍රමාණය අහිමි වී යාම කොරෝනා බලපෑමෙන් ඇති වූ අහිතකර ආර්ථික ප්‍රතිලාභයකි.
2. සේවා නියුක්තිය
ලෝකයේ සෑම රැකියා 10 කින් එකක් සංචාරක ව්‍යාපාරය
ආශ්‍රිතව නිර්මාණය වී ඇති අතර ශ්‍රී ලංකාව වැනි තුන්වන ලෝකයේ රටකට පැමිණෙන සෑම
විදේශ සංචාරකයින් පස් දෙනෙකුටම එක රැකියාවක් බිහි වන බව පොදු පිළිගැනීමයි. සංචාරක
ව්‍යාපාරය හරහා ඍජු රැකියා හා වක්‍ර රැකියා වශයෙන් රැකියා නිර්මාණය වේ.
* සෘජු රැකියා - සංචාරක කර්මාන්තය සමග එක එල්ලේ
සම්බන්ධ වී ඇති රැකියා
උදා:-
සංචාරක හෝටල්
සංචාරක ආගන්තුක නිවාස
සංචාරක ආපනශාලා
විවිධ සංචාරක සේවා සපයන
*වක්‍ර රැකියා - සංචාරක ව්‍යාපාරය පවත්වාගෙන යාමට අවශ්‍ය සේවා සපයන ආයතනවල දායකත්වය නිසාම ජීවිතය පවත්වාගෙන යන සියල්ලන් වක්‍ර රැකියා කොටසට අයත් වේ.
උදා:- උපකාරක සේවා සපයන්නන්
විසිතුරු
භාණ්ඩ සපයන්නන්
අත්කම්, සිහිවටන, මැණික් ස්වර්ණාභරණ
නිෂ්පාදකයින් හා වෙළඳුන්
සංචාරක මගපෙන්වන්නන්
සංචාරක ක්ෂේත්‍රයේ රැකියා 100ක් බිහි කරන විට එමගින් වක්‍ර රැකියා 140ක් බිහිවන බව සංචාරක සංඛ්‍යා ලේඛන 2005 අත්පොතේ සඳහන්ව ඇත. එම වර්ෂයේ සංචාරක සේවය හා සම්බන්ධ ඍජු රැකියා 52085ක් විය. මූලික ශ්‍රී ලංකා සංචාරක දත්ත අනුව 2008 වසරේ දී සෘජු රැකියා 51857ක් සහ වක්‍ර රැකියා 72599ක් වේ. මේ අනුව රැකියා අවස්ථා උදා කිරීමේ උල්පතක් වශයෙන් සංචාරක කර්මාන්තය හා ප්‍රතිමෝදන කටයුතු ක්ෂේත්‍රය හඳුන්වා දීමට හැකි ය. වර්තමානයේ තව තවත් බිහි වීමට තිබූ සෘජු සහ වක්‍ර රැකියා කොරෝනා බලපෑමෙන් අපට අහිමිව ගොස් ඇත. පුද්ගලයන්ගේ රැකියා විශාල ප්‍රමාණයක් මේ වන විට අහිමිව ගොස් ඇත. මෑත කාලීනව සංචාරක කටයුතු ආශ්‍රිත රැකියාවල ලක්ෂ 30ක පමණ පිරිසක් නිරත වී සිට ඇත. බලපෑමේ තරම කෙතරම් දැයි කිවහොත් මේ වන විට එම පුද්ගල සංඛ්‍යාවෙන් විශාල පිරිසකට තම රැකියා අහිමි වී ගොස් ඇත. එම ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත් වී ඇත. එය කොරෝනා හේතුවෙන් රැකියා ක්ෂේත්‍රයට ඇති වූ අහිතකර බලපෑමයි.
3. රජයේ ආදායම වැඩි වීම
සංචාරක ව්‍යාපාරය හා ප්‍රතිමෝදන කටයුතු ආශ්‍රිතව
රජයේ ආදායම වැඩි වීම ප්‍රබල සාධකයක් වේ. විශේෂයෙන්ම ග්‍රාමීය ජනතාවගේ ආදායම වැඩි
වීම හරහා රාජ්‍ය බදු ආදායම වැඩි වීම , රේගු ගාස්තු , ගුවන් ගතවීම් ගාස්තු ,
සිද්ධස්ථාන ආශ්‍රයෙන් ප්‍රවේශපත්‍ර තුළින් අයකරන ගාස්තු , කෞතුකාගාර , පුරාවිද්‍යාත්මක
ප්‍රදර්ශන , වනාන්‍තර , සංස්කෘතික ත්‍රිකෝණ ආශ්‍රයෙන් අයකරන ගාස්තු ආදී වූ අය
කිරීම් මගින් රාජ්‍ය ආදායම වැඩිකර ගත හැකි ය. 2005 වර්ෂය තුළ මෙම බදු හා ප්‍රවේශ පත්‍ර
අලෙවිය මගින් රුපියල් මිලියන 1880.30ක් උපයා ඇත. පෞද්ගලික අංශයේ රැකියා
නියුක්තවන්නන්ගේ පෞද්ගලික ආදායම ඉහළ යන අතර රජයේ හා රාජ්‍ය ආයතනවලට ද විශාල
ආදායමක් මේ හරහා උරුම වන බව පැහැදිලි ය. රටේ ආදායමෙන් විශාල ප්‍රමාණයකට දායකත්වය
සැපයීමට හැකි වූ සංචාරක කර්මාන්තය අඩාල වීම රටේ ආදායම් තත්ත්වය පහළ බැසීමට මෙන්ම
ආර්ථිකය කඩා වැටීම කෙරෙහි ද මරු පහරක් විය. කිසිදු ආකාරයෙන් ඉහළ ආදායමක් ලබා ගැනීමට
රජයට හැකියාවක් ලැබුනේ නැත. රටක සාමය හා නීතිය පැවතීම , වාර්ගික ගැටුම් අවම වීම ,
ආගමික ගැටුම් අවම වීම , ආරක්ෂාව තහවුරු වීම සහ ස්වභාවික ආපදා අඩුම අඩු වීම ආදී
සාධක මත පදනම්ව රටකට එන සංචාරකයින් ප්‍රමාණය තීරණය වේ. එම සංචාරකයින් ප්‍රමාණය මත
වාර්ෂිකව හෝ මාසිකව රටට ලැබෙන ආදායම තීරණය වේ. වර්තමානයේ රටට පැමිණෙන සංචාරකයින්
ප්‍රමාණය පහළ බැස ආදායම ද ඉතා පහළ මට්ටමකට වැටීම කෙරෙහි හේතු වී ඇත්තේ කොරෝනා
වසංගතයයි.
4. ප්‍රාදේශීය සංවර්ධනය
කොළඹ නගරය ආශ්‍රිත කලාපය හා මහා කොළඹ ආශ්‍රිත කලාපය හැර අනෙකුත් වෙරළබඩ කලාපයේ නැගෙනහිර වෙරළබඩ කලාපය , මධ්‍යම කඳුකරය , පුරාණ නගර අයත් කලාපය , උතුරු ප්‍රදේශය ආදී ප්‍රදේශ නාගරික කලාපවලින් බැහැරව පිහිටා ඇති අතර මේ හේතුවෙන් සංචාරක ආකර්ෂණය දිනා ගනු වස් එම කලාප සංවර්ධනය කළ යුතු ය. විශේෂයෙන්ම මේ හරහා ප්‍රාදේශීය යටිතල පහසුකම් සංවර්ධනය , සන්නිවේදන අවස්ථා පුළුල් කිරීම , ආපනශාලා දියුණු කිරීම , ප්‍රවාහන අංශය දියුණු කිරීම ආදී වූ අංග සංවර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස දියුණු වේ. බොහෝ සංචාරකයින් ලංකාවට පැමිණෙන්නේ බොහෝ හේතූන් පෙරදැරි කොටගෙනය. ඒ අතර හිරුරැස් වින්දනය , වෙරළ හා පරිසර - වනපෙත් හා සංස්කෘතිකාංග නරඹා විනෝද වීම යනාදිය සඳහා ය. මේ නිසා ග්‍රාමීය ප්‍රදේශවල ජනයා කෙරෙහි ඇති කරන බලපෑම අති මහත්ය. විශේෂයෙන්ම ලෝකයේ අටවෙනි පුදුමය ලෙස සැලකෙන සීගිරිය ආදි සංචාරක කලාපවල සංචාරක කර්මාන්තය දියුණු වීම හේතුවෙන් යටිතල පහසුකම් රාශියක් වර්ධනය වී තිබෙන බව පැහැදිලිය. මේ හේතුවෙන් ග්‍රාමීය සහ නාගරික ප්‍රදේශ අතර තිබූ සබඳතාව වර්ධනය වී ඇත. සංචාරක කර්මාන්තය හා ප්‍රතිමෝදන කටයුතු පවතින කාල වකවානුවේ දී ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීම උදෙසා ප්‍රාදේශීය සංවර්ධන කටයුතු සිදු කර නමුත් කොරෝනා බලපෑම හේතුවෙන් මේ වන විටත් ප්‍රාදේශීය සංවර්ධන කටයුතු විශාල වශයෙන් අඩාළ වී ඇත. සංචාරක කර්මාන්තය අඩපණ වීම හේතුකොටගෙන ඒ සියල්ල ද යටපත් වී ඇත. ඒ ප්‍රාදේශීය සංවර්ධනයට සිදු වී ඇති බලපෑමයි.
5.ආදායම් ඉපයීම හෙවත් ආර්ථික උත්තේජනය
සංචාරක ආකර්ෂණය තුළ වර්ධනය වන
සංචාරක
ව්‍යාපාරයේ යුක්ත වන්නන් වන සෘජු හා වක්‍ර රැකියාවල නියුක්තවන්නන්ගේ
ආදායමත් සමස්ත ආදායමෙත් වර්ධනයක් සිදුවන අතර සංචාරක සේවයට අනුබද්ධ සේවා අවස්ථා ද
බොහෝ ප්‍රමාණයක් බිහි වන අතර සමස්ත සංචාරක ව්‍යාපාරය වර්ධනය හේතුකොටගෙන රටක
ආර්ථිකය සමාජයට මෙන්ම දේශපාලන සංස්කෘතික පැතිකඩයන්හි ධනාත්මක සහ ඍණාත්මක බලපෑම්
ඇතිවිය හැකි වුව ද රටක ආර්ථිකය නගා සිටුවීම සඳහා ප්‍රතිපත්තිගරුක වඩාත් ප්‍රායෝගික
සැලසුම්සහගත සංචාර ව්‍යාපාර තුළින් කළ හැකි මෙහෙය ඉතා විශාල වේ. කොරෝනා බලපෑම හේතුවෙන් මෙලෙස අහිමි වී ගොස් ඇත්තේ රටට ලැබිය යුතු ආර්ථික ප්‍රතිලාභයන්ය.
එම ආර්ථික ප්‍රතිලාභයන් සෘජුවම සංවර්ධනය වන රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට
බලපෑම් එල්ල කර තිබේ. එය සුළුපටු බලපෑමක් නොවන්නේය. කොරෝනා බලපෑමෙන් අහිමිව ගිය
ආර්ථික ප්‍රතිලාභ නැවත යථා තත්ත්වයට පත්කර ගනිමින් රට නැවත පණ ගැන්වීම සඳහා සංචාරක
ව්‍යාපාරය හැකි ඉක්මනින් නගා සිටුවිය යුතු ය. එවිට ඒ සියලු ආර්ථික ප්‍රතිලාභ කොරෝනා බලපෑමෙන් තොරව නැවත අපට ලබාගත හැකි ය. එසේ නොවුණහොත්
බලපෑම හමුවේ දිගු කාලයකට කඩාවැටීමට රටක් වශයෙන් ඔබ අප සියලු දෙනාට සිදු වේ. එය අප
නතර කරගැනීමට වහ වහා කටයුතු කළ යුතු ය.
No comments:
Post a Comment