මගේ ජීවිත තක්සලාවේ අම්මා හා සම රැජිනිය..

        මේ විශ්වයේ සියලුම බන්ධනයන් අතර සහෝදර බන්ධනය යනු, ශක්තිමත් බන්ධනයකට කදිම නිදසුනකි. මගේ ජීවිතයේ ඒ උත්තම වාසනා මහිමය මට ලැබුණි.ඒ මගේම ආදරණීය සහෝදරිය හේතුවෙනි.ඇය මගේ අක්කාය.අම්මා නොමැති තැන මගේ දෙවෙනි අම්මාය.හොඳ නරක මට කියාදුන් මගේ හොඳම මිතුරිය ඇයයි.මා අසනීප වූ අවස්ථාවන්හි දී මා වෙනුවට හඩන්නේද ඇයයි.මගේ වේදනාව මට දරාගත හැකි වුවද ඇයට එය මහමෙරක් තරමට දරාගත නොහැකි වේදනාවකි.මා ජීවිතයේ හදවතින් කඩා වැටුණේ කොතනද ඇය මා හා ශක්තියක් වී රැදුණි.

               මේ ඇය හා සබැඳි මගේ ජීවිත අත්දැකීමකි.මගේ තාත්තා රියදුරෙකි.මා උසස් පළ අධ්‍යාපනය ලබන කාල වකවානුවේදී  මගේ පියාගේ රැකියාව අප කිසිවෙකු බලාපොරොත්තු නොවූ ආකාරයෙන් අහිමි වූ අතර පියා රෝගී තත්වයට පත් විය.ඒ කාල වකවානුව උපකාරක පන්ති සදහා මා සහභාගි විය යුතුම කාල වකවානුව විය.නමුත් ඒ සදහා ගෙවීමට මුදල් මා තාත්තා සතුව නොමැති විය.එවැනි තත්වයක් යටතේ මගේ අධ්‍යාපනයට තිත නොතබා ඉදිරියටම ගමන් කරන්නට මගේ සහෝදරිය මට විශාල ශක්තියක් විය.ඒ වන විටත් විවාහකව සිටි ඇය මාස 6ක දරු ගැබ කුසෙහි දරාගෙන ඇගළුම් කම්හලක සේවයට ගියේ මගේ ජීවිතයට ශක්තියක් වීමටය.ඇගේ බලාපොරොත්තු අත නොහැර ඉටු කරමින් මා පැමිණි දුෂ්කර ගමන් මාර්ගයේ සාර්ථකත්වය අභියස මා දැන් සිටිමි. ඒ ඇයගේ ශක්තියයි.ඇය කිසිදා පරදින්නට කැමති නැත.එවැනි සහෝදර සම්පතක් ලද මා සැබැවින්ම වාසනාවන්තියක යැයි මා හට හැගේ.මා ජීවිතයේ දිනාගත් බොහෝ දේ පිටුපස අම්මා හා සමානව මා දිරිගැන්වීමට සිටියේ ඇයයි.ඉතිං  මගේ ජීවිතයේ අම්මා හා සම රැජිනිය ඇයයි.මගේම ආදරණීය සහෝදරියේ සහෝදර බන්ධනයකට ඔබ කදිම උදාහරණයකි.එය මා අවිවාදයෙන් පිළිගන්නෙමි.මගේ ආදරණීය දෙවනි අම්මේ, මැරි මැරී  මතු උපදින්නා වූ හැම සංසාරගත ආත්මයක් පුරාවට ඔබ මගේම සහෝදරිය වේවා!!!.හැමදාමත් මගේ පිටුපස මගේ සෙවණැල්ල සේ රැදේවා.සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා!!!.හැමදාමත් ආදරෙයි. 




No comments:

Post a Comment

ගෙවී ගිය සිව් වසර...

ජීවිතේ බෙදාගත් අඩි හයේ කාමරේ බඩගින්න බෙදාගත් මැට්ට ළග  කැන්ටිමේ ගෙවී ගිය සිව් වසර සබරෙ කදු මායිමේ  ෆොටෝවල හොයනවා මතක  මාවත දිගේ... වල් වැදී ...

නෙත් පැහැරන්නෝ...