(කථන භාෂාවෙන් ලියැවුණු ලිපියකි.)
"ඡායාරූපයකට පෙනිලා ඉන්නවා කියන එකත් අද කාලෙ හැටියට කොච්චර ලොකු දෙයක්ද? මං හිතන්නේ අපේ අම්මවත් මෙහෙම ලස්සනට ඡායාරූපයකට ඉඳලා නැතුවැති. මට හරි ආඩම්බරයි මං ගැන. දැන් මට කියන්න පුළුවන් මගේ යාලුවන්ට මං ජාත්‍යන්තරේට ගියා කියලා. මේ අක්කා මට හරිම ආදරෙයි. ඒ හින්දනේ මාව වඩාගෙන ඉන්නේ. හැමෝම අපේ අම්මගෙ කිරි අරගෙන බොනවා. සෙම කියලා ලෙඩක් තියනවලු මිනිස්සුන්ට. ඒ ලෙඩේට අපේ අම්මගෙ කිරි හරි හොඳයිලුනේ. මං නම් දන්නෙ නෑ වැඩිය ඕවා ගැන. මං තාම චූටියිනේ. ඒ වුනාට ඒ හැමෝම අපේ අම්මගෙන් කිරි අරගෙන ගිහිල්ලා බොනවා. හැබැයි කවදාවත් මේ අක්කා වගේ අපිව ඡායාරූපගත කරලා ජාත්‍යන්තරේට අරන් ගියේ නම් නැහැ. අපේ අම්මගෙ කිරි ගත්තට මොකද අපේ නෑයෝ ගොඩක් අයව වයසට ගියාම මිනිස්සු මස් කඩයට දෙනවා. අපේ අම්මා තමයි මට කියා දුන්නේ. ඒත් මේ අක්කලනම් එහෙම කරන්නේ නෑ. අපිට ලෙඩක් හැදුනත් අපිව හරි ආදරෙන් බලා ගන්නවා. කොච්චර වයසට ගියත් අපිව මැරෙනකම්ම කාටවත්ම දෙන්නෙ නෑ. ඒ හින්දම මං අක්කට ගොඩක් ආදරෙයි. ඒකනේ මේ අතට වෙලා මං ආසාවෙන් ඉන්නේ.
ඒ උනාට ඉතින් මගේ ඡායාරූප ගන්න කලියෙන් අනිත් දවසේ කියන්න හොඳේ. ලස්සනට ඉන්නත් එපැයි මේවට. නැත්නම් අපේ පරම්පරාවට ඒක හරි නෑනේ. මං එළු බබෙක් වුනාට මං නියෝජනය කරන්නේ අපේ මුළු එළු සමස්තයමනේ. නැත්තම් මගේ ආච්චි අම්මා , සීයා තාත්තා මට බනීවි. ඒ හින්දා ඔන්න අනිත් දවසේ මට කලින්ම කියලා ලස්සන ඡායාරූපයක් ගන්න හොදේ. මං මගේ අම්මටත් කියන්නම්කෝ එදාට මට කිරි පොවලා මාව ලස්සනට බෝල ගෙඩිය වගේ තියන්න කියලා. මගේ කතාව කියවන ඔයාලත් මට ආදරෙයි නම් මගේ ඡායාරූපය හැමෝටම පෙන්නන්න හොඳේ. මං ගිහින් එන්නම්."
No comments:
Post a Comment