සංචාරක ව්‍යාපාරය අද ලෝකයේ විදේශ විනිමය ඉපයීමේ, රැකියා හා ආදායම්
උත්පාදනය කිරීමේ කර්මාන්තයක් වශයෙන් පෙරට පැමිණ තිබේ. ලෝකයේ ඇති වූ බොහෝමයක්
ආර්ථික අර්බුදයන් හමුවේ සංචාරක ව්‍යාපාරය ඉක්මනින්ම හිස එසවීමට තරම් හැකියාව ලබා
ඇත. සංචාරක ව්‍යාපාරය ලෝකයේ දිළිඳුකම පිළිබඳ ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට ඇති හොඳම
විසඳුමක් බව ප්‍රකාශ වී ඇත. සංචාරකයන් රටකට ආදායම් උත්පාදනය කරන්නේ එම සංචාරක
ගමනාන්තයට පා තැබූ අවස්ථාවේ සිට ය. ඒ අනුව අද වන විට බොහෝ සංවර්ධනය වෙමින් පවතින
රටවල් ඉහළ මට්ටමේ ආර්ථික වර්ධනයක් තුළින් දිළිඳුකම තුරන් කළ හැකි හෙයින් එම ආර්ථික
වර්ධනය උදෙසා සංචාරක ව්‍යාපාරය යොදා ගෙන ඇත. සංචාරක ව්‍යාපාරය මගින් සංවර්ධනය
වෙමින් පවතින රටවල ජනතාවගේ ජීවන තත්වය ඉහළ මට්ටමකට නංවාලීමට හැකි වීමද මේ සඳහා
බලපා ඇත. සංචාරක ව්‍යාපාරය තුළින් විවිධ රැකියා අවස්ථා බිහි වීම හරහා දුප්පත් රටවල
ජනතාවගේ ජීවන මට්ටම යම් බවකින් හෝ උසස් මට්ටමකට ගෙන ඒමට හැකියාව ලැබී ඇත.
විශේෂයෙන්ම අධික ජනගහන තදබදය නිසා ඇතිවන අධික රැකියා විරහිතභාවයට පිළිසරණක් වශයෙන්
සංවර්ධනය වෙමින් පවතින රටවල් ආශ්‍රිතව සෘජු හා වක්‍ර වශයෙන් රැකියා අවස්ථා රැසක්
බිහි වේ. මීට අමතරව සංචාරකයන් බහුලව සංචාරය කරනු ලබන ප්‍රදේශ ආශ්‍රිතව සුළු හා මධ්‍ය
පරිමාණයේ ව්‍යාපාර මඟින් රැකියා මෙන්ම දේශීය ආදායම උත්පාදනය වීම ද සිදුවේ.
විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත හස්ත කර්මාන්ත හා සිහිවටන කර්මාන්තයෙහි ද
වර්ධනයක් දැකගත හැකි ය. බොහෝවිට ප්‍රාදේශීය මට්ටමේ දී එබඳු හස්ත කර්මාන්තවල
නියැලෙමින් රැකියා නියුක්තියේ යෙදී සිටිනුයේ ආර්ථිකමය වශයෙන් අඩු මට්ටමේ සිටින
සුළු හා මධ්‍ය පරිමාණයේ අය වෙති. එබඳු සිහිවටන හා අත්කම් භාණ්ඩ සංචාරකයන්ට
විකිණීමෙන් එම ප්‍රදේශවල ජනතාවට තම ජීවන වෘත්තිය නගා සිටුවා ගැනීමට හැකියාව පවතී.
එමෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාවගේ දරිද්‍රතාවය නිසා අඩු අධ්‍යාපන
සුදුසුකම් සහිතව රැකියා වෙළඳපළට එකතු වන තරුණ පිරිස්වලට පහසුවෙන්ම රැකියා සැපයීමට
සංචාරක ව්‍යාපාරය ඉඩ සලසයි. මෙහිදී සංචාරක ක්ෂේත්‍රයේ රැකියා සඳහා අවශ්‍ය වන්නේ
අධ්‍යාපනික මට්ටමට වඩා අදාළ නිපුණත්වයයි. මේ නිසා නිසි පුහුණුවකින් පසුව සංචාරක
ක්ෂේත්‍රයට පිවිසීමට බොහෝ දෙනාට හැකි වී තිබේ. සංචාරක ව්‍යාපාරය හා ඈඳුණු සහයක සේවා රැසක් ද
වේ. කෘෂිකර්මාන්තය
හා ධීවර කර්මාන්තය වැනි ගතානුගතික කර්මාන්තවලට ද සංචාරක සංවර්ධනය නිසා වාසිදායක
තත්ත්වයක් ඇති වේ.
බොහෝවිට සංවර්ධනය වෙමින් පවතින
රටවල දිළිඳු ජනතාවගේ බහුතරයක් ගතානුගතික
කෘෂිකර්මාන්තය තුළින් යැපෙන හෙයින් සංචාරක ව්‍යාපාරය හරහා ඔවුන්ට අමතර ආදායමක්
උපයා ගැනීමට හැකි වේ. වර්තමානයේ කෘෂි සංචාරණය වැනි විශේෂිත සංචාරක වෙලඳපොලවල්
මෙන්ම ප්‍රජා මූලික සංචාරක ව්‍යාපෘති තුළින් ද දිළිඳු භාවයෙන් පෙළෙන ගැමි ජනතාවට
ප්‍රතිලාභ අත්වෙමින් පවතී. තම කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා සංචාරක කර්මාන්තය හා
යහපත් ආදායමක් හිමිකර ගැනීමට මෙන්ම ධීවර නිෂ්පාදිත සංචාරක හෝටල් වලට සැපයීමෙන්
ආදායම් වැඩි කර ගැනීමට ද හැකියාව උදා වී තිබේ. උදාහරණ වශයෙන් ධීවර බෝට්ටු
සංචාරකයන්ගේ විනෝදජනක චාරිකා වශයෙන් යොදා ගැනීමෙන් ද ධීවර කාර්මිකයාට අමතර ආදායමක්
උපයා ගැනීමට හැකියාව ලැබී තිබේ. සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන ආර්ථික ප්‍රතිලාභය ලෙස
සැලකෙනුයේ සංචාරක ව්‍යාපාරය මගින් විදේශ විනිමය හෙවත් දැඩි මුදල් උත්පාදනය කිරීමයි.
සංචාරක ව්‍යාපාරය මඟින් බොහෝ රටවල විදේශ ණයගැතිභාවය පහළ බැස ඇති අතර එම නිසාම රජය
විසින් ජනතාවගේ දරිද්‍රතාවය පිටු දැකීම උදෙසා සමාජ සුබසාධන ව්‍යාපෘති දියත් කිරීමට
ද හැකි වී තිබේ. එපමණක් නොව සංචාරක ව්‍යාපාරය නැංවීම උදෙසා දියත් කරනු ලබන බොහෝ
යටිතල පහසුකම් සංවර්ධනය වැනි විශාල සංචාරක ව්‍යාපෘතිවල ප්‍රතිලාභ දුප්පත් ජනතාවට ද
ලැබේ. සංචාරක ව්‍යාපාරය පාදක කරගෙන රජය විසින් ඉදිකරනු ලබන අධිවේගීමාර්ග, ගුවන්
තොටුපළ, සංචාරක පොදු පහසුකම් ආදී විශාල පරිමාණයේ ව්‍යාපෘති මගින් ජනතාවට රැකියා හා
ආදායම් උත්පාදනයට මග සලසා තිබේ. සංචාරක ව්‍යාපාරයෙන් උදාකරන සංස්කෘතික ප්‍රතිලාභ
සැලකිල්ලට ගැනීමේදී ද දේශීය ජනතාවගේ සංස්කෘතික සිද්ධි ආකර්ෂණ හා සංස්කෘතික නැටුම්
ආදියෙහි නියැලෙන ගම්බද ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීමට ද බොහෝ විට උපකාරී වී ඇත්තේ
සංචාරක කර්මාන්තයයි. ලංකාවේ උඩරට නැටුම්, වෙස් මුහුණු, බතික් හා රේන්ද කර්මාන්තයට
ද පුනර්ජීවයක් ලැබී ඇත්තේ සංචාරක ව්‍යාපාරය නිසා ය. එමෙන්ම සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය
පහසුකම් සංවර්ධනය කිරීමේදී ප්‍රාදේශීය සංවර්ධනයක් ද සිදු වේ. උදාහරණ වශයෙන් ශ්‍රී
ලංකාවේ මොණරාගල දිස්ත්‍රික්කයේ පිහිටි කතරගම ප්‍රදේශය දැක්විය හැකි ය. විශේෂයෙන්ම
දේශීය සංචාරක ව්‍යාපාරය නිසා එම ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය නැංවී දිළිඳු
භාවයෙන් මිදීමට හැකි වී ඇති ආකාරය පෙනේ.
එලෙසම පෙරදී දිළිදු ගම් ලෙස සැලකුණු දඹුල්ල, සීගිරිය, පින්නවල, කණ්ඩලම වැනි ප්‍රදේශවල
ජනතාවගේ දරිද්‍රතාවය පිටුදැකීමට වර්තමානයේ සංචාරක ව්‍යාපාරය ඉවහල් වී ඇති බව ද
පෙනේ. ගෝලීයකරණයේ ප්‍රතිලාභ ලබා ගැනීමේ ප්‍රධාන මෙවලමක් ලෙස සංචාරක කර්මාන්තය
යොදාගැනීමට ද සංවර්ධනය වෙමින් පවතින රටවල් උත්සාහ ගෙන ඇති ආකාරය පෙනේ. සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රතිපත්ති
සම්පාදකයන් සංචාරක කර්මාන්තය දේශීය ආර්ථික සංවර්ධනය කිරීමේ උපාය මාර්ගයක් ලෙස සැලකීම
නිසා බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් සිය ආර්ථික න්‍යාය පත්‍රයේ පළමු හෝ දෙවන
තැනට සංචාරක කර්මාන්තය ගෙන ඒමට කටයුතු කර ඇත. එමෙන්ම ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය
අරමුදල , ජාත්‍යන්තර සංචාරක සංවිධානය වැනි ආයතන සංවර්ධනය වෙමින් පවතින රටවල්
සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා මූල්‍යමය හා තාක්ෂණික ආධාර ලබාදීමේ ප්‍රතිඵලයක්
ලෙසට සංවර්ධනය වෙමින් පවතින ස්වභාවික සෞන්දර්යය, කාලගුණය, දේශගුණය , අඩු
පිරිවැයකින් සංචාරය කළ හැකි වීම, සංචාරක
මිල දර්ශනය අඩු පහළ මට්ටමක පැවතීම ආදී වූ හේතු සාධක මත සංචාරකයින් විසින් සංවර්ධනය
වෙමින් පවතින රටවල සංචාරක කර්මාන්තයේ පවත්නා ඉල්ලුම ක්‍රමිකව වර්ධනය කරමින් සිටී.
මේ අනුව සමස්තයක් වශයෙන් සැලකූ විට ආර්ථික හා සමාජයීය සංවර්ධනය ළඟා කර ගැනීමට මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කර ගැනීම යන ප්‍රධාන සාධක පදනම් කරගනිමින් සංවර්ධනය වෙමින් පවතින රටවල් සංචාරක ව්‍යාපාරයට යොමු වී තිබේ. සංවර්ධනය වෙමින් පවතින රටවල් බොහොමයක් හුදෙක් සංචාරක කර්මාන්තය සිදු කරනුයේ ඉන් අත්වන ආර්ථික ප්‍රතිලාභ පිළිබඳ පමණක් සැලකිලිමත් වෙමිනි. මෙසේ සංවර්ධනය සඳහා සංචාරක කර්මාන්තය යොදා ගැනීමේදී අභ්‍යන්තර හා බාහිර යන දෙයාකාරයෙන්ම බාධක හා ගැටලුවලට මුහුණ දීමට එම රටවලට සිදු වේ. බහුතරයක් සංචාරකයින් තම සංචාරයෙන් අපේක්ෂා කරන්නේ තම සුපුරුදු ඒකාකාරී පරිසරයෙන් මදක් ඉවත්වී සැනසිල්ලේ තම විවේකය හෝ නිවාඩුව ගත කිරීමටය. ශ්‍රී ලංකාව ගතහොත් 1993 කලුජූලිය ,1996 මහ බැංකුවට ඇති වූ ත්‍රස්ත ප්‍රහාරය, 2001 කටුනායක ගුවන්තොටුපලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය, 2019 පාස්කු ප්‍රහාරය , වර්තමාන කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පහළ වැටී ඇත. ඒ අනුව ගම්‍යමාන වන්නේ සංචාරක කර්මාන්තය සංවර්ධන උපාය මාර්ගයක් ලෙසින් යොදා ගන්නා රටකට එම රටෙහි පවතින වාතාවරනය බාධාවක් ලෙසින් කටයුතු කරන අවස්ථා පවතින බවයි. වර්තමාන ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට හා ප්‍රතිමෝදන කටයුතුවලට ගෝලීය කොරෝනා වසංගතය හේතුවෙන් උදාවී ඇති අහිතකර බලපෑම මීට කදිම නිදසුනකි. වසංගත රෝගී තත්ත්වය සංචාරක කර්මාන්තයට පෙරසිටම බාධා එල්ල කර තිබේ. 2008 වසරේ මෙක්සිකෝවෙන් ආරම්භ වූ සූකර උණ රෝගය , අග්නිදිග ආසියාවේ පැතිර ගිය කුරුළු උණ රෝගය දැක්විය හැකිය මීට අමතරව වර්තමාන කොරෝනා තත්ත්වය ද එවැනි වසංගත තත්ත්වයක් නිසා ඇති වි ඇති තත්වයකි. සංවර්ධනය වෙමින් පවතින රටවල සංචාරක කර්මාන්තය විවේකය , විනෝදය වැනි අවශ්‍යතා මත ජනප්‍රිය වුවද එම රටවල පවත්නා අරමුණු හා කාලීන අභියෝග සංචාරක කර්මාන්තයේ සංවර්ධනය සඳහා සෘජුවම බාධාවන් රැසක් නිර්මාණය කරයි.
👍👍👍
ReplyDelete