බුදුරජාණන් වහන්සේගේ පද්මාකාර ජීවිතය...

         


                 බුදුරජාණන්  වහන්සේ ධර්මාලෝකයෙන් මුළු ලෝකයම ආලෝකමත් කරන බැවින් දිවාකර හෙවත් සූර්යයා බදුය. උන්වහන්සේ බුදු වූ නොබෝ දිනකින්ම ලෝකාර්ථ චර්යාව ආරම්භ කළ සේක. උන් වහන්සේ පළමුව කළේ ලෝකය දෙස බුදු ඇසින් බැලීමයි. ලෝකේ පියුම් විලක් මෙන් උන්වහන්සේට පෙනුණි. විලක විවිධාකාර පියුම් ඇත. ඇතැම් ඒවා දිය ඇතුළත වැඩෙමින් තිබේ. ඇතැම් ඒවා ජල මට්ටමට වැඩි වී ඇත. ජලය උඩට මතු වී තිබීමට ආසන්න ඒවාද තිබේ. ලෝකයේ පුද්ගලයන් ද විවිධාකාරය. ඇතැමුන්ගේ කෙළෙස් වැඩිය. සමහරුන්ගේ කෙලෙස් අඩුය. ප්‍රඥාව,වීර්යය ආදී ශක්තියෙන් වැඩුණු අය මෙන්ම නොවැඩුණු  අය සිටිති. ඇතැමෙකුට යමක් පහසුවෙන් අවබෝධ කළ හැක. ඇතමුන්ට අවබෝධ කර දීම අපහසුය. කෙලෙස් අඩු ප්‍රඥාව වීර්‍යය ආදී දියුණු වූ යමක් පහසුවෙන් අවබෝධ කරලිය හැකි පුද්ගලයන් ජලයෙන් උඩට මතු වූ නෙළුම් පොහොට්ටුවක් මෙනි. එම නෙළුම් දිවාකර ලැබුණු විගසම පිබිදෙයි. කෙලෙස් අඩුකම ආදී ලක්ෂණයන්ගෙන් යුක්ත අය බුද්ධ දිවාකරයන්ගේ මගපෙන්වීම ලැබුණු  විගසම ධර්මය අවබෝධ කරයි. දහම් දෙසීමේ දී පළමුව එබඳු පුද්ගලයන් ගැන අවධානය යොමු කළේ එබැවිනි. 

                      පද්මය හෙවත් පියුම බෞද්ධ ජීවිතයට බොහෝ සමීප මල් අතරින් එකකි. සිදුහත් කුමරු උපන් විගස පියවර හතක් තැබූ බවත් මහපොළොවෙන් නෙළුම් මල් හතක් මතුව එතුමාගේ දෙපා පිළිගත් බව ද බෞද්ධ සාහිත්‍යයේ දැක්වේ. බුද්ධ කාලයේ සිට අද දක්වාම බෞද්ධයෝ බුදුරදුන්ට ගරු කිරීම සඳහා නෙළුම් මල භාවිතා කොට ඇත. පවිත්‍රත්වයේ සහ සුන්දරත්වයේ සංකේතයක් ලෙස බෞද්ධ කලාවේ සහ බෞද්ධ සාහිත්‍යයේ අපට නෙළුම් මල නිරතුරුව හමුවේ. මේ සියල්ලටම වඩා අපට වැදගත් වන්නේ බුදුරදුන්ගේ විරාගී නික්ලේශී ජීවිතය සංකේතවත් කරනු පිණිස පද්මය යොදාගෙන ඇති අයුරුය. වරක් බුදුරදුන් උක්කට්ඨා සහ සේතව්‍ය යන නගර දෙක අතර පාගමනින් වඩිද්දී ඒ මඟ ගමන්ගත් ද්‍රෝණ නම් බමුණෙක් බුදුරදුන්ගේ පාසටහන් දැක ඒකාන්තයෙන්ම මේ සටහන් මනුෂ්‍යයෙකුගේ නොවේයැයි ඕනෑකමින් බලා සිට ගසක් මුල ශාන්ත ඉරියව්වෙන් වැඩ හුන් බුදුරදුන් දැක මෙසේ ප්‍රකාශ කළේය.

 බමුණා:- ඔබ දෙවියෙක්ද? 

බුදුරදුන්:- මම දෙවියෙක් නොවෙමි. 

බමුණා:- ඔබ ගාන්ධර්වයෙක්ද? 

බුදුරදුන්:- මම ගාන්ධර්වයෙක්ද නොවෙමි. 

බමුණා:- ඔබ යක්ෂයෙක්ද? 

බුදුරදුන්:- මම යක්ෂයෙක් ද නොවෙමි. 

බමුණා:- එසේ නම් ඔබ මනුෂ්‍යයෙක්ද? 

බුදුරදුන් :- මම මනුෂ්‍යයෙක්ද? නොවෙමි. 

බමුණා:- එසේනම් ඔබ කවරෙක්ද? 

බුදුරදුන්:- බමුණ, මම සියලු කෙලෙස් ප්‍රහීණ කළ උත්තරීතර මනුෂ්‍යයෙක්මි.

             ද්‍රෝණ බමුණාට දුන් මෙම පිළිතුර බුදුරදුන් අදහස් කළේ තමන් වහන්සේ දිව්‍ය , මනුෂ්‍ය ආදී කිසිම සත්ත්ව කොට්ඨාසයකට අයත් සිතුවිලි ආකල්ප ආදියෙන් යුක්ත නොවන බවයි.  උන්වහන්සේ ඉපදුනේ කෙලෙස් සහිත ජන සමාජයකය. හැදී වැඩුණේ එහිය.නමුත් කෙලෙසුන් නසා සම්මා සම්බුද්ධත්වයට පත් වූයේය. නෙලුමට වැඩීමට ජලයද මඩද උපකාරි විය. නමුත් නෙළුම් මඩේද ජලයේද නොගැටී ඉහලට එසවී පවතී. බුදුහිමියන්ට උපකාර කළේ සමස්ත සමාජයයි. සමාජයක් නොවන්නට එම කාර්යය කළ නොහැකිය. සමාජයෙන් නෙළාගත් එම බුද්ධත්වයේ ඵලය භුක්ති වින්දේ සමාජය සමග නොගැටී එම සමාජයටද ආදර්ශයක් වෙමිනි.

                         පෘථග්ජනයන්ට මෙන්ම පංචකාම සමාපත්ති ජීවිතයක් බුද්ධ ශ්‍රාවකයන්ට අනුමත කොට නැත. නැටුම් ගැයුම් වැයුම් විසූක දස්සන මාලා ගන්ධ විලේපනයන්ගෙන් වෙන් වූ ජීවිතයක් ලෙස පැවිදි ජීවිතය දැක්වේ. බුද්ධ චරිතය පද්මාකාර  වුණේ ඒ නිසාය. බුදුරදුන් රාගයෙන් දමනය කිරීමට කිසිදු ස්ත්‍රියකට නොහැකි විය. බුදුරදුන්ට තමන්ගේ දියණිය විවාහ කර දීමට යෝජනා කළ මාගන්ධියා බ්‍රහ්මයාට උන්වහන්සේ ප්‍රකාශ කළේ මළ මුත්‍රයෙන් පිරි මාගන්දියා බැමිණියගේ සිරුර තමා පයින්වත් ස්පර්ශ කිරීමට අකමැති බවයි. රාගයෙන් මුසපත් වූ සමාජයක උන්වහන්සේ ක්‍රියා කළ ආකාරය පෙනෙයි. සමාජය මෝහාන්ධකාරයෙන් සිටින විට බුදුහු ප්‍රඥාප්‍රභාශ්වරයෙන් යුක්ත විය. මිනිසුන් පාපයට ලැජ්ජා  බියක් නොමැතිව කටයුතු කරන පසුබිමක උන්වහන්සේ ලැජ්ජා බිය හඳුනමින් කටයුතු කළේය. පෘථග්ජනයන් නොසන්සුන්ය. හරි වැරදි දෙය යුතු අයුතු දේ හොඳ නරක තෝරා බේරා ගැනීමට තරම් නොසමත් වූ හෙයින් උද්ධච්චය බුදුන් ලෝකයාට දේශනා කළේ හොඳ නරක යුතු අයුතු තෝරා බේරා ගන්නා ආකාරය පිළිබඳවයි. තෘෂ්ණාව පෘථග්ජන සන්තානගතව පවතින හෙයින් සසර ගමනේ කෙළවරක් නැතුව සැරිසරයි. බුදුහු තෘෂ්ණාව ක්ෂය කළ තැනැත්තෙකි. භික්ෂූන්ට පවා අටපිරිකරට වඩා යමක් නොතිබිය යුතුවට ප්‍රතිපත්ති පැනවූයේ එසේය. සමාජයේ බොහෝ පුද්ගලයන් සතු අසීලාචාර  ගති කෙළෙසුන් බුද්ධ චරිතයේ නැත. එබැවින් කෙලෙස් චරිත ලොව ඉක්මවා සුවදැති ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය උපදෙස් බුදුරදුන්ගේ පද්මාකාර ජීවිතෙන් පෙන්නුම් කෙරේ.

No comments:

Post a Comment

ගෙවී ගිය සිව් වසර...

ජීවිතේ බෙදාගත් අඩි හයේ කාමරේ බඩගින්න බෙදාගත් මැට්ට ළග  කැන්ටිමේ ගෙවී ගිය සිව් වසර සබරෙ කදු මායිමේ  ෆොටෝවල හොයනවා මතක  මාවත දිගේ... වල් වැදී ...

නෙත් පැහැරන්නෝ...